14December2017

Athulatha

27 November 2017 Written by 

ශ්‍රී ලංකා පිල ඉනිමක පරාජයෙන් බේරීමේ සටන අරඹයි

නායක විරාත් කෝලිගේ වාර්තාගත ද්විත්ව ශතකයට අමතරව තවත් පිතිකරුවන් තිදෙනකුම ශතක වාර්තා කිරිම නිසා කඩුලු 6ක් දැවී ලකුණු 610ක දැවන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කර සිය පළමු ඉනිම අත්හිටවූ ඉන්දීය පිල නාග්පූර් නුවර පැවැත්වෙන දෙපිල අතර දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිමෙන් කඩුල්ලක් ද උදුරාගැනීමට සමත් විය.

දිනය නිමාවනවිට ශ්‍රී ලංකා පිල එක් කඩුල්ලක් දැවී ලකුණු 21ක් ලබා සිටින අතර ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 384ක් පසුපසින් සිටී. දිමුත් කරුණාරත්න ලකුණු 11ක් ද, ළහිරු තිරිමාන්න ලකුණු 9ක්ද රැස් කරමින් නොදැවි කඩුල්ලේ රැඳී සිටිති.

ඊයේ පස්වරුවේ දිනය නිමාවීමට ඕවර 9ක් ඉතිරිව තිබියදී සිය පළමු ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා පිලට දෙවැනි ඉනිම ආරම්භ කිරීමට කැඳවූ ඉන්දීය පිල සදීර සමරවික්‍රම දවාලූයේ ඉනිමේ දෙවැනි පන්දුවේදීමය. ඉෂාන්ත් ෂර්මා යැවූ ඒ ඕවරයේ දෙවැනි පන්දුවෙන් සමරවික්‍රමගේ කඩුල්ල බිඳ වැටෙද්දී ඔහු ලකුණු ලබා සිටියේ ද නැත.

තරගයේ පළමු දිනයේදීම පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 205කට දැවී ගියත් ඉන්දීය පිතිකරුවෝ පෙරේදා සහ ඊයේ පස්වරුව වනතුරුම තරගයේ පාලනය සියතට ගෙන පන්දු යවන්නන්ගේ තණතීරුව පිතිකරුවන්ගේ පාරාදීසයක් බවට පත්කර ගැනීමට සමත්වූහ.

තරගයේ පළමු දිනය නිමාවෙද්දී එක් කඩුල්ලක් දැවී ලකුණු 11ක් ලබා සිටි ඉන්දීය පිල ඉහළට ඔසවා තැබූ ආරම්භක පිතිකරු මුරලි විජේ සහ චේටස්වර් පුජාරා පෙරේදා ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් ගෙන දීමට සමත්වූ අතර දෙවැනි කඩුල්ලට ලකුණු 209ක සම්බන්ධතාවක් ද ගොඩනැගූහ. ඒ අතරතුර සිය 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට මුරලි විජේ සමත්විය. පෙරේදා පස්වරු තේ පානයට මොහොතකට පසුව රංගන හේරත්ගේ පන්දුවකට ඩිල්රුවන් පෙරේරා අතට උඩපන්දුවක් ලබාදී ඔහු දැවී යද්දී ලකුණු 128ක් ලබා සිටියේය.

අනතුරුව නායක විරාත් කෝලි සමග එක්ව දිනය නිමාවනවිට සිය 14 වැනි ටෙස්ට් ශතකය රැස් කරමින් ඉන්දීය ඉනිම ලකුණු 312 දක්වා ඉහළ දැමුවේය. ඒ අතරතුර කෝලි ඔහුගේ අර්ධ ශතකය ලබාගැනීමට සමත්විය.

ඊයේ දිනය පුරා ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් බවට පත්වූ නායක විරාත් කෝලි සිය ටෙස්ට් තරග දිවියේ 5 වැනි ද්විත්ව ශතකය වාර්තා කිරිමට සමත්විය. එය ඔහු විසින් ශ්‍රී ලංකා පිලට එරෙහිව ලැබූ පළමු ද්විත්ව ශතකය ද විය.

පුජාරා සමග එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 183ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගූ ඉන්දීය පිලේ නායකයා රෝහිත් ෂර්මා හා එක්ව පස්වැනි කඩුල්ලට ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 173ක් විය.

පුජාරා ඊයේ ලකුණු 143කට දැවීයාමෙන් පසුව පිටියට පිවිසි අජින්ක්‍යා රහානේ ලකුණු 2කට දවාලීමට ඩිල්රුවන් පෙරේරා සමත්වූවත් කෝලි සහ ෂර්මා අතර සම්බන්ධතාව බිඳ දැමීමට මුලු ලකුණු සංඛ්‍යාව 583 වනතුරු ශ්‍රී ලංකා පිලට අවස්ථාවක් ලැබුණේ නැත. ඊයේ දිනයේ කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ කෝලි පන්දු 267කදී ලකුණු 213ක් රැස් කිරීමට සමත්වූ අතර ඔහුගේ ඉනිම හතරේ පහර 17කින් සහ හයේ පහර 2කින් වර්ණවත් විය. කෝලිගේ දැවීයාමෙන් මොහොතකට පසුව සිය ටෙස්ට් තරග දිවියේ තුන්වැනි ශතකය වාර්තා කරමින් ඉන්දිය පළමු ඉනිම ලකුණු 600 සීමාවෙන් ඔබ්බට දැමීමට ෂර්මා සමත්වීමෙන් පසුව ලකුණු 405ක වාසියක් අතැතිව ඉන්දියාව ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.



Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.