14December2017

Athulatha

07 December 2017

ඕනෑ වුණොත් ක්‍රිකට් පාලක මණ්ඩලයත් විසුරුවනවා

මෙරට ක්‍රිකට් සමාජ විසින් ඔවුන්ගේ ඡන්ද බලය පෙන්වා ක්‍රිකට් පාලක මණ්ඩලය සිරකොට ඇති බවත් එය ගැලවීමට නොහැකි වුවහොත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරින බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

ඔහු එම අදහස් පළ කළේ ඊයේ (06දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින්ය.
එහිදී වැඩිදුරටත් දයාසිරි ජයසේකර මහතා මෙසේද කීවේය.
ක්‍රීඩා 62ක් මා යටතේ තිබෙනවා. ඒත් ඉතා අසීරු අවස්ථාවක හැර කිසිම ක්‍රීඩාවකට අතුරු පාලක මණ්ඩල පත් කිරීමට මා සූදානම් නැහැ. සමහර ක්‍රීඩාවලට විශාල ප්‍රශ්න ගණනාවක් තිබුණත් ඒවට මුහුණ දී හොඳින් වැඩකටයුතු කරනවා. හොකී හා බැඩ්මින්ටන් සම්බන්ධව උසාවියේ නඩු කටයුතු සිදුවෙනවා. ඒත් මම ඒවට අතුරු පාලක මණ්ඩල පත් කරන්න කටයුතු කළේ නැහැ.

ක්‍රිකට්වලට අවුරුදු 8ක් අතුරු පාලක මණ්ඩල තිබුණා. ඒ කාලයේ ක්‍රිකට්වලට අත්වූ ඉරණම කවුරුවත් කතා කළේ නැහැ. දිගින් දිගටම අතුරු පාලක මණ්ඩල අවුරුදු දෙකෙන් දෙකට පත්වීම් සිදු වූ නිසා ඔවුන්ට අවුරුදු 5-6 සැලසුමකට යෑමට නොහැකි වුණා. පසුව තමයි ක්‍රිකට් නිලවරණය තිබුණේ.
මේ රටේ ජාතික ක්‍රිකට් නංවන්නයි කමිටුවක් දමලා නව වැඩපිළිවෙළක් සකස් කළේ. ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලය ප්‍රාදේශීය විදියට බෙදා තිබෙනවා. ප්‍රාදේශීය 4කට බෙදුවා. පළමු සහ දෙවැනි පෙළ කණ්ඩායම් 24 කලවම් කොට නව වැඩපිළිවෙළක් හදනවා. දැනට ක්‍රීඩකයො එන්නෙ 'ඒ' තලයේ කණ්ඩායමෙන් විතරයි. නමුත් නව ක්‍රමයෙන් හොඳම ක්‍රීඩකයො ක්‍රීඩා සමාජවලට එක් වෙනවා. අවශ්‍ය කරන පහසුකම් දුන්නා නම් ඔවුන්ට ඉදිරියට එන්න අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා ප්‍රාදේශීය 4කට බෙදා පහසුකම් ලබාදී ක්‍රිකට් දියුණු කිරීම අපේ අරමුණයි.

ඡන්ද ගැන කල්පනා කරන්න එපා කියල මම ක්‍රිකට් පාලක මණ්ඩලයටත් කිව්වා. ඡන්ද 145ක් විතර දැනට තිබෙනවා. ඒක 75කට විතර අඩු කරන්න අපට පුළුවන් වේවි. ක්‍රිකට් ඡන්ද නිසා ක්‍රීඩා සමාජ විසින් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත බලය යොමු කරල මොකුත් කරන්නෙ නැතිව හිර කරල තියෙනවා. ඒක ගලවන්න ඕන. ඒක කරන්න බැරි වුණොත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරිනවා.

තවද මේ මාධ්‍ය හමුවේදී ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ නව පුහුණුකරුවා ලෙස පත් කර ඇති චන්දික හතුරුසිංහ මේ මස අවසානයේදී වැඩ භාරගැනීමට නියමිත බවයි.