22January2018

Athulatha

You are here: Home News Local ඩොලර් කෝටි 200-300ක විදේශ ආයෝජන ඉලක්කයක්
04 January 2018

ඩොලර් කෝටි 200-300ක විදේශ ආයෝජන ඉලක්කයක්

වසර 2017 දී මෙරටට ලැබුණු අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් කෝටි 150 ක සෘජු විදේශ ආයෝජන මුදල අභිභවා මේ වසරේ (2018) දී අමෙරිකානු ඩොලර් කෝටි 200 ක හෝ 300 ක වාර්තාගත ආයෝජනයක් සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කෙළේය. ඒ අනුව පෞද්ගලික අංශය ප්‍රමුඛ කොටගත් නව ව්‍යාපාර සහ නව ආයෝජන තුළින් මේ වසරේ නව රැකියා බහුල ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමේ පෙරනිමිති පහළ වී ඇතැයි ද අධිපතිවරයා කීය.

ශ්‍රී ලංකා මහ බැංකුව වසර 2007 සිට සෑම වසරක් ආරම්භයේදීම සිය ප්‍රතිපත්ති පෙර දැක්ම එළිදැක්වීමට කටයුතු කළ අතර, එහි 11 වැනි පෙරදැක්ම ඊයේ (03) උදේ මහ බැංකු මූලස්ථානයේදී එළිදක්වමින් අධිපතිවරයා මේ බව කියා සිටියේය.

වසර 2017 අභියෝගාත්මක වසරක් ලෙස මෙහිදී පෙන්වා දුන් අධිපතිවරයා, එසේ වුවත් ආර්ථිකයේ විවිධ අංශවල සැලැකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට සමත් වී ඇතැයි ද කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට සැපැයූ විස්තීරණ ණය පහසුකම මතින් ‍වසර 2017 දී පමණක් ඩොලර් මිලියන 759.9 ක මුදලක් රටට ලැබී ඇතැයි අධිපතිවරයා පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාව වසර 2017 තුළ අපනයන ආදායම් ඉහළ නංවාගත් බව පැහැදිලි කළ අධිපතිවරයා, අපනයන වෙළෙඳපොළවල් වර්ධනය කර ගැනීම, නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, හිතකර විදේශ වෙළෙඳ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම, රටේ සාර්ව ආර්ථිකය සුබවාදී ලෙස වර්ධනය වීම ඊට බලපා ඇති බව ද කීය. ඊට අමතරව යුරෝපා සංගමයෙන් ලැබුණු ජී. එස්. පී. ප්ලස් සහනය, සිංගප්පූරුව, චීනය හා ඉන්දියාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමේ ක්‍රියාවලියේ පවතින ධනාත්මක වර්ධනය ද අපනයන වැඩිවීමට බලපා ඇත.

වසර 2017 ට වඩා ශක්තිමත් ආර්ථිකයක් වසර 2018 දී රටේ බිහිවන බවට පැහැදිලි බව මනාව පෙන්වා දුන් අධිපතිවරයා, එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය, ප්‍රතිපත්ති, උපායමාර්ගවල පවා වෙනස්කම් රාශියක් සිදුකළ යුතුව ඇතැයි පැහැදිලි කෙළේය.

වසර 2025 දැක්ම - පොහොසත් රටක්! රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මහ බැංකුවේ අනාගත මුදල් ප්‍රතිපත්ති රාමුව වෙනස්කම්වලට ලක්කැරෙන අතර, උද්ධමනය සියයට 4 - 6 ත් අතර මට්ටමේ පවත්වාගෙන යෑමට ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ද අධිපතිවරයා කීය.

වසර 2020 වන විට රටේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5 ක් දක්වා අඩුකර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය.