22January2018

Athulatha

You are here: Home News Local අගමැතිගෙන් තේ පැන් සංග්‍රහයක්
02 January 2018

අගමැතිගෙන් තේ පැන් සංග්‍රහයක්

2018 වසර සදහා වැඩ ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අද දිනයෙදී අරලියගහ මන්දිරයේදී සිදු කරනු ලැබීය.

මෙහිදී අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩලය විසින් අගමැතිවරයාට සුබ පැතීමට පැමිණෙන මැති ඇමතිවරුන් සහ සම්භාවනීය අමුත්තන් වෙනුවෙන් විශේෂ තේ මේසයක්ද සුදානම් කර තිබිණි.

උදෑසනම අගමැතිවරයාට සුබපැතීමට පැමිණි අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමා අගමැතිවරයා සමග විශේෂ සාකච්චාවක නිරත වනු දක්නට ලැබිණි. කබීර් හෂීම් ඇමතිවරයා සහ රවුෆ් හකීම් ඇමැතිවරයාද පසුව මෙම සාකච්චාවට එකතු විය. කොළඹ නගර සභාවට වෙන්ව තරග කිරීමට තමන් තීරණය කලේ අලුත් මැතිවරණ ක්‍රමයේ උපරිම වාසි ලබා ගැනීමට බවත් ඉදිරි ඕනෑම අවස්තාවක තමා ඇතුළු තම පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කරන බවත් මනෝ ගනේශන් මහතා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට සහභාගී වී සිටි සජිත් ප්‍රේමදාස ආමාත්‍යවරයා නිරෝෂන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන්  වෙන්නපුව ආසනයේ සුදුසු ඉඩමක් සොයා දෙන ලෙසයි. හර්ෂ ද සිල්වා නි.ඇමතිවරයා විසින් සුව සැරිය දෙවන අදියර සුදානම පිළිබද අගමැතිවරයාට කරුණු ඉදිරිපත් කරන ලදී.

තේ බොමින් සිටි අගමැතිවරයාගෙන්  නලින් බණ්ඩාර මන්ත්‍රී වරයාගෙන් විමසා සිටියේ බැදුම්කර වංචාවට කුමක් කුමක් වන්නේද කියාය. ඉතා සැහැල්ලුවෙන් ඊට පිළිතුරු දුන් අගමැතිවරයා ප්‍රකාශ කලේ මොනවා වෙන්නද ? වැරදි කරුවෙක් ඉන්නවානම් ඊට දඩුවම් දීම සුදුසුයි . ඕක ගැන අපි කලබල වියයුතු නැහැ . අපේ දෑත් පිරිසිදුයි . ඒ නිසා මටනම් ඔය වංචාව ගැන කිසිම ගැටළුවක් නෑ. අපි අපේ ඡන්ද ව්‍යාපාරය දිගටම කරගෙන යමු . මම ලබන සතියේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන් කණ්ඩායම් වශයෙන් හමුවෙනවා . ඒ වගේම රට පුරාම අපේක්ෂකයන් කණ්ඩායම් වශයෙන් හමු වෙනවා. අපි දැන් ඔය මන්ත්‍රීවරු පස්සේ නෙමෙයි මහන්සිවෙලා අපේ පාක්ෂිකයන් දිරිමත් කරලා ඡන්දය් දිනවමු යනුවෙනි.

ලක්ෂමන් කිරිඇල්ල ඇමතිවරයාට හම්බන්තොට ඡන්ද ව්‍යාපාරය ගැන දැනගන්නට අවශ්‍යව තිබිණි. ජෝන් අමරතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ගම්පහ ඡන්ද සටන තියුණු වුවත් ඒ.ජ.ප ජයග්‍රහණය ස්ථීර බවත්ය .

සුබ පැතිමට පැමිණි සියලුම දෙනාට ස්තුති කල අගමැතිවරයා පිටත්ව ගියේ ජනාධිපතිවරයා හමුවීමට ඇති බව ප්‍රකාශ කරමිනි.

මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මැතිණිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබුණි .