22January2018

Athulatha

You are here: Home News Business රටපුරා ආර්ථික මධ්‍යස්ථාන ඉදිකිරීම කඩිනමින්
16 December 2017

රටපුරා ආර්ථික මධ්‍යස්ථාන ඉදිකිරීම කඩිනමින්

දේශීය කෘෂි නිෂ්පාදන නැවුම්ව හා ලාබදායක ලෙස පාරිභෝගිකයාට ලබා ගැනීමේ පහසුව සඳහා රටපුරා හඳුනාගත් ප්‍රදේශවල ආර්ථික මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශය කඩිනම් වැඩපිළිවෙළක් දියත් කර තිබේ.

මීට සමගාමීව ම‍ඩකලපුව, කදුරුවෙල හා වවුනියාව ප්‍රදේශවල ද ආර්ථික මධ්‍යස්ථාන ඉදිකිරීම ආරම්භ කර ඇති අතර, මේ සඳහා රුපියල් මිලියන 5791ක මුදලක් වෙන්කර ඇති බව ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශය සඳහන් කරයි. මඩකලපුවේ ඉදිකෙරෙන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය සඳහා රුපියල් මිලියන 300ක් ද කදුරුවෙල කෘෂි ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීමට රුපියල් මිලියන 5,200ක් ද වවුනියාව ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරි කිරීම් කටයුතු වෙනුවන් රුපියල් මිලියන 291ක් ද වැය වන බවට ගණනය කර ඇති අතර, වවුනියාව ආර්ථික මධ්‍යස්ථානය සඳහා වැය කිරීමට යෝජිත මුදලින් රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන ඒකාබද්ධ අරමුදලින් ලබා දී ඇත.

මේ අතර දැනට විවිධ ප්‍රදේශවල ඉදිකර ඇති ආර්ථික මධ්‍යස්ථානවල නවීකරණ කටයුතු සිදු කිරීමට රුපියල් මිලියන 50ක ප්‍රතිපාදන ලබා දී ඇත.

මේ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කරමින් රුපියල් මිලියන හතයි දශම හතරක (7.4) වියදමින් හාරගම ගොවිපළෙහි හා කොවුල් වැව ගොවිපළෙහි නව අලෙවිසැල් දෙකක් විවෘත කර ඇත.

වසර 2018 දී ද මේ කටයුතු තවදුරටත් පුළුල් කරමින් දඹුල්ල හා කැප්පෙටිපොළ, විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල ශීතාගාර 2ක් ඉදි කිරීමට සැලසුම්කර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 385ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

මීට අමතරව ගාල්ල, මන්නාරම හා අනුරාධපුරය නව විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන අලුතෙන් ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 600ක් වෙන් කර ඇත.

අම්පාර හා කිළිනොච්චිය ආර්ථික මධ්‍යස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 20ක් ආයෝජනය කිරීමට නියමිතය.

නව වසරේ දී කළුතර, ගාල්ල සහ මන්නාරම දිස්ත්‍රික්කයන්හි පශු විමර්ශන මධ්‍යස්ථානවල ඉදි කිරීම් කටයුතු නිම කිරීමට ද පියවර ගන්නා බව ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශය පවසයි.